“ඇයි අපට වෙනසක්-උසින් අඩු මගේ ළග උසින් වැඩි 100-150ක් වැඩකරනවා”

“ඇයි අපට වෙනසක්-උසින් අඩු මගේ ළග උසින් වැඩි 100-150ක් වැඩකරනවා”

– ශ්‍රි ලංකා පුංචි ජනතාවගේ සංගමයේ සභාපතිනි දර්ශනී නානායක්කාර මහත්මිය-

කිසිවෙකුත් කෙලෙස උපදින්නේදැයි දන්නේ නැත. සමාජයේ උස් මිටි ‌භේද සියල්ලට මුහුණ දීමට සිදුවන්නේ උපතින් පසුවය. නිතර දෙවෙලේ අපට හමුවන උසින් අඩු (කුරු) මිනිසුන්ද මිනිසුන්ය. නමුත් ඔබ අප ජීවත්වන සමාජයේ සිටින මිනිසුන්ම නොමිනිසුන් ලෙස කුරු මිනිසුන් දෙස අවඥාවෙන් බලා ඇත්ද? අප ඔවුන් වෙනුවෙන් ශක්තියක් වනු විනා සමාජයෙන් ඈත්කර තබන්නට වෙහෙස වී ඇත්ද? thecolomboexpress.com අප සමග අද කෙටි පිළිසදරකට ඒක්වන්නේ පළමු වතාවට මෙරට බිහිවන ශ්‍රි ලංකා පුංචි ජනතාවගේ සංගමයේ සභාපතිනි දර්ශනී නානායක්කාර මහත්මියයි.

අලුත් ආරම්භයට thecolomboexpress.com සුබ පැතුම් ! මොකද්ද අලුත් සංගමය?
මමත් උපතින්ම උසින් අඩු අයෙක්. ජීවිතයේ අද දක්වා බොහෝ තැන්වල උස අඩු නිසා සමාජයේ විවිධ පීඩාවන්ට ලක්වෙලා තිබෙනවා. අවුරුදු 10-15ක ඉදන්ම මෙවැනි උසින් අඩු පුංචි මිනිසුන් වෙනුවෙන් හඩක් නගන්න අවශ්‍යයයි කියලා හිතේ පැලවුණු අදහසක් තිබුණා. පසුගිය 2 වැනිදා ඊට ආරම්භයක් වැටුණා.

ශ්‍රි ලංකා පුංචි ජනතාවගේ සංගමයේ ආරම්භය ගැන අදහසක් පළකලොත්?
මේ සංගමය පිහටුවීම ගැන මම මුලින්ම සාකච්ඡා කළේ සමාජ සේවා දෙපාර්තමේන්තුව සමගයි. ඔවුන් මේ සදහා මැදිහත්වීම කරන්න ඉදිරිපත් වුණා. විශේෂයෙන් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තිලක් හෙට්ටිආරච්චි මහතා සංගමය පිහිටුවීමට අවශ්‍ය ශක්තිය ලබාදුන්නා. ඒ අනුව පසුගිය 2 වැනිදා මොරටුව ගොරකානේ ඇක්වා ප්ර්ල් ලේක් රිසොට් හෝටලයේදී සංගමය පිහිටුවා. ඉදිරි කටයුතු කරගෙන යාමට නිලධාරි මඩුල්ලක් පත්කර ගත්තා.

සමාජ සේවා දෙපාර්තමේන්තුවෙන් ඔබ සංගමයට අලුතින් සාමාජිකයන් හදුන්වා දුන්නාද?
ඇත්තටම කියන්න කණගාටුයි අපේ රටේ කිසිදාක මේ උසින් අඩු පුංචි මිනිසුන් වෙනුවෙන් සංගණනයක් සිදුවෙලා නැහැ. ඔවුන්ගාවවත් දිස්ත්‍රික් මට්ටමෙන් උසින් අඩු මිනිසුන් කී දෙනෙක් සිටිනවාද කියන තොරතුරු තිබුණෙ නැහැ. නමුත් තිලක් හෙට්ටිආරච්චි මහත්මයා ඉතා කැපවීමෙන් යුතුව ඊට ආරම්භයක් දුන්නා වගේම අදාල තොරතුරු දිස්ත්‍රික් මට්ටමෙන් ලබාගන්න පියවර ගන්නා බව සදහන් කළා. මම හිතන විධියට උපතින්ම උසින් අඩු මිනිසුන් ලෙස ඉපදුන දස දහස් ගණනක් මේ රටේ ජීවත්වෙනවා. ඔවුන් සමාජයෙන් වසන් කරලා තියෙන්නෙ.

උසින් අඩු නිසාම ඇතිව තිබෙන ප්‍රශ්න කිහිපයක් විස්තර කරන්න පුළුවන්ද ?
පළමුවෙන්ම සිද්ද වෙන්නෙ උසින් වැඩි අයගෙ උසුළු විසුලුවලට ලක්වීමයි. එය අපේ සියලු දෙනාට මානසික බලපෑමක් ඒල්ල කරනවා. මම හොද උදාහරණයක් කියන්නම් දැන් මම තෙල් මල් අරගෙන පන්සල් යනවා. පන්සලට ගියාම උස අයයි මටි අයයි කියලා නෑ මේ හැමෝම ඒන්නෙ පින් කරගන්න. මට පේනවා මගේ දරුවයි මාවයි සමහර අම්මලාම ඇගිල්ලෙන් ඇනලා එයාලගෙ දරුවන්ට පෙන්වනවා. අන්තිමේ මම පන්සල් යන්නෙ නැති තරම්. මොකද මම දන්නවා ඒහෙම වුණාම ඒ මිනිස්සුත් පව් කරගන්නවා. ඒක දැකලා මගේ හිතට තරහක් ආවම මටත් පවු පිරෙනවා.

සමාජයේ එදිනෙදා අනෙකුත් සාමාජිකයනුත් මුහුණපාන පොදු ගැටලු මොනවද ?
අපේ උසින් අඩු අයගෙන් සියයට 90ක්ම ‌ඉගෙන ගෙන නැහැ. ඊට හේතුව පාසල්වලට මේ දරුවන්ව ඇතුළත් කර ගන්න අකමැතියි. නැත්නම් ඔවුන්ට පාසල් යාමට තරම් පවුල් පසුබිමක් නැහැ. රස්සාවකට ගියාම මුලින්ම රස්සාව දෙනවද නැද්ද කියලා තීරණය කරන්නෙ උස ද මිටිද බලලා. පොදු ප්‍රවාහන සේවයට ලබා ගැනීමේදී බස් රථය දුම්රිය මේ හැමතැනම අප වෙනුවෙන් පහසුකම් නැහැ. බස් රථයකට නැගලා යන්න බැහැ අසුනක් නොලැබෙන්නේනම් එතැන ගැටලු ගණනාවක් ඇතිවෙනවා. අප දිහා බලලා හිනාවෙනවා. මේක තමයි අපට කරන ලොකුම අගතිය කොටින්ම කියනවා නම් ලංකාවේ කවුරුවත් මෙතරම් කලකට අප දිහා බලලා හිනාවෙනවා ඇරෙන්න විශේෂ අවධානයක් යොමු කරලා ප්‍රතිපත්ති හදලා නැහැ. වෙනත් රටවල්වල තත්ත්වය මීටවඩා හාත්පසින් වෙනස්. මේ නිසා උසින් අඩු පුද්ගලයන්ගේ පවුල් දුප්පත්කමෙන් පෙළෙනවා. සමහරුන්ට කන්න අදින්නවත් නැහැ.

හැම දරුවෙකුටම පාසල් අධ්‍යාපනය ලබා දෙන්න රජය භාර අරගෙන තියෙනවානේ?
මම මගේම අත්දැකීම කියන්නම්. මගේ තාත්තා මාව කොළඹ ජනප්‍රිය බාලිකා පාසලකට ඇතුළත් කරගන්න ගියාම මාව ගන්න බෑ කිව්වා. එතකොට මගේ තාත්තා ඒදා හිටපු විදුහල්පතිනියගෙන් ඉල්ලුවේ මගේ දුව ඉගෙනීම කරන්නෙ නැත්නම් මාස හයකට පසුව මම කැමැත්තෙන්ම ඉල්ලා අස්කරගන්නම් කියලා. අන්තිමේ පාසලට ගත්තා මම ඉගෙනීමට දක්ෂ වුණ නිසා එම පාසලේ උසස් පෙළ දක්වාම මම ඉගෙන ගත්තා. වාණිජ අංශයෙන් සම්මාන සාමාර්ථ තුනක් උසස් පෙළට ලබාගත්තා.

අධ්‍යාපනය එතැනින් හමාර කළාද?
නැහැ මම ව්‍යාපාර කළමණාකරණය පිළිබදව වැඩිදුර අධ්‍යාපනය හැදැරුවා. ඒ කළම්බො බිස්නස් කොලේජ් ඒකෙන්. මට සිංහල,ඉංග්‍රිසිවලට අමතරව ජර්මන් භාෂාව හොදින් කතා කරන්න පුළුවන්. ස්විස්ටර්ලන්තය, ජර්මනිය, සිංගප්පුරුව, බැංකොක් ඇතුළු රටවල සංචාරය කරමින් අත්දැකීම් ලබාගෙන තිබෙනවා.

මුලින්ම අහන්න හිතාගෙන හිටපු ප්‍රශ්නයක් දැන් අහනවා. පවුලෙ විස්තරත් කැමතිනම් අපට කියන්න.
ආ එකට කමක් නැහැ. මම විවාහකයි. දරුවො දෙන්නෙක් ඉන්නවා. මගේ මහත්තයා අතුල රත්නවීර, මගේ පුතාලා දෙන්නා සචිත් සහ කෙමිත්.

දැන් ඔබ කිසියම් වෘත්තියක නිරතවෙනවාද?
මම දැනට ව්‍යාපාර හිමි කාන්තාවක්. මට ඊට පදනම වැටුනෙ මගේ තාත්තාගෙන්. මොරටුව ගොරකානේ ඇක්වා ප්ර්ල් ලේක් රිසොට් හෝටලය සහ දෙහිවල ඇගලුම් කර්මාන්ත ශාලාවක් මට තියෙනවා. දැනටමත් මගේ යටතේ 100-150ක් සේවය කරනවා.

උසින් අඩු මිනිසුන් වෙනුවෙනුත් මෙම ස්ථානවල විශේෂත්වයක් ලැබෙනවාද?
උසින් අඩු මගේ ළග දැන් වැඩ කරන්නෙ උසින් වැඩි අය. එත් උසින් අඩු මිනිසුන් වෙනුවෙන් රැකියා අවස්ථා ලාබා දෙන්න ඔවුන් වෙනුවෙන් සහන සැලසීමම තමයි මගෙත් අපි අලුතින් පිහිටුවා ගත් සංගමයෙත් ඉදිරි සැලසුම.

ඔබ දැන් ව්‍යවසායිකාවක්. උසින් අඩු ඔබ උසින් වැඩි රටේ සමස්ත ජනතාවගෙන් කරන ඉල්ලීම මොකද්ද?
උසින් අඩු මිනිසුන් දෙස අනුකම්පාවෙන් බලන්න එපා. අනුකම්පාවෙන් බලනකොටම අපි ඔවුන්ව අසරණ කරලා අවසානයේ ඔවුන්ට පිහිට වෙන්නෙ. එහෙම නැතිව සාමාන්‍ය මිනිස්සු විධියටම ඔවුන් දිහා බලන්න. කතාකරන්න. හිනාවෙන්න. රැකියා ස්ථානයේ හෝ ගමන බිමනේදී ඔවුන්ට සම තැන දෙන්න. ඔවුන්ගෙන් මේ රටට විය යුතු යුතුකම ඉටුකරගන්න.

සාකච්ඡා කළේ- රමේෂ් වරල්ලෙගම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *